පාරිසරික කළමනාකරණයේදී පරිසර ආරක්ෂණය ඉතා වැදගත් වන්නා වු සාධකයක් වේ.වයඹ පළාත තුල නිවැරදි පරිසර ආරක්ෂණ ක්‍රමවේදයක් තුලින් තිරසර සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත විශාල කාර්යභාරයක් පැවරී ඇත. එහි ප්‍රධානතම කාර්යයක් වන්නේ පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමයි. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යනු පාරිසරික සමතුලිතතාවය බිඳ නොයන ආකාරයට කර්මාන්තය පවත්වාගෙන යාමත්, කර්මාන්තයෙන් පිට කරනු ලබන අපද්‍රව්‍ය, එනම් ඝණ, ද්‍රව, වායු අපද්‍රව්‍ය ආදිය පරිසරයට මුදා හැරීමට අවකාශ ලබාදීමයි. මේ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන 1990 අංක 12 දරණ පාරිසරික ප්රඥප්තියේ 20,21 වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කොට ඇති අංක 1685/11 දරණ හා 2010.12.21 දිනැති ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. එකී ගැසට් නිවේදනයේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරිමේදී අදාල වන්නා වු ප්‍රමිති ආමාන උපමාන ආදිය විස්තරාත්මකව දක්වා ඇති අතර එකී ප්‍රමිති ආමාන උපමාන ජාතික මට්මමේ ප්‍රමිති ආමාන උපමාන වේ. එකී ගැසට් නිවේදනයේ ix වන උපලේඛණයේ බලපත්‍ර ලබාගත යුතු නියමිත කටයුතු කොටස් 3 ක් යටතේ දක්වා ඇති අතර “අ”,“ආ” යන කොටස්වල සදහන් නියමිත කටයුතු/කර්මාන්තය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය වයඹ පළාත් පරිසර අධිකාරියෙන් පමණක් නිකුත් කරන අතර ඇ කොටසේ සදහන් නියමිත කටයුතු සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ බලතල අදාල පළාත් පාලන ආයතනය වෙත විමධ්‍යගත කොට ඇත.
සියලුම නියමිත කටයුතු සඳහා බලපත්‍ර ඉල්ලුම් කිරිමේ ආකෘති පත්‍රය ඉහත කී ගැසට් නිවේදනයේ දක්වා ඇති අතර එකී ආකෘති පත්‍රයක් මඟින් බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කල යුතුය. ඉන් අනතුරුව සිදු කරනු ලබන ක්ෂේත්‍ර පරීක්ෂණය සඳහා නියමිත ගාස්තු ගෙවීමෙන් පසු අදාල ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කොට බලපත්‍ර ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලැබේ. බලපත්‍ර ලබාදීමේදී ඉහත කී ගැසට් නිවේදනයේ ප්‍රකාරව නියමිත ප්‍රමිති හා උපමාන වලට කොන්දේසි හා නියෝග වලට අනුකූලව යම් නිශ්චිත කර්මාන්තයක්/ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම, එහි තැන්පත් කිරීම හෝ පරිසරයට මෝචනය කිරීම හෝ වායුන් හෝ ශබ්ද හෝ කම්පනය සිදු කිරීමට අවසර දෙනු ලැබේ. නිකුත් කරනු ලබන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂික බලපත්‍රයක් වන අතර ඇතැම් අවස්ථාවලදී කර්මාන්තයේ ස්වභාවය හා පවත්නා පාරිසරික තත්ත්වය සලකා බලා මාස තුන, හය ආකාරයෙන් සීමාකල හැකිය. සෑම බලපත්රයක්ම කොන්දේසි සහිතව නිකුත් කරනු ලැබේ.
අයදුම්පත වෙබ් අඩවිය හරහා online හෝ සෘජුව පළාත් පරිසර අධිකාරි කාර්යාලයට හෝ පළාත් පාලන ආයතනයට පහත ලේඛනද සමඟ ඉදිරිපත් කල හැක..
අයදුම්පත හා අවශ්‍ය ලේඛන නිවැරදිව ඉදිරිපත් කර ඇති බව තහවුරු කර ගැනිමත් පරීක්ෂණ ගාස්තු තීරණය කර පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදිමේ ඉදිරි ක්‍රියාවලිය සඳහා යොමු කිරීමත් මෙහි අරමුණයි.
ඉදිරිපත් කොට ඇති අයදුම් පත්‍රයෙහි සදහන් කරුණු පිළිබදව අදාල ස්ථානයට ගොස් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යෙන්ම කරනු ලබන අතර ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු සඳහා වැයවන මුදල හා පරිපාලන වියදම් වලට ඇතුලත් වනු ඇත. Online අයදුම්කරුවන් Online payment හරහා පරීක්ෂණ ගාස්තු පළාත් පරිසර අධිකාරියට ගෙවිම සිදු කල හැක. එසේ නොමැති අවස්ථාවලදී ඍජුවම මෙම අධිකාරිය වෙත පැමිණ පරීක්ෂණ ගාස්තු ගෙවිය හැක. එසේම පළාත් පාලන ආයතනයට බලය පවරා ඇති කර්මාන්ත සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනයට සෘජුවම අදාල ගාස්තු ගෙවිම කල හැක.
පරීක්ෂණ ගාස්තු ගෙවීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ හා පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් කර්මාන්තය/ ව්‍යාපෘතිය පරීක්ෂා කර සියලු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර පරිසර අධිකාරිය මඟින් පල කරන ලද තත්ත්ව ආමාන උපමාන වලට අනුව පරිසර දූෂණය පාලනය කර ගනිමින් කර්මාන්තය/ ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී කරුණු අධ්‍යනය කරනු ඇත.
ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව එහි නිරීක්ෂණ හා ලබා දී ඇති වාර්තා සැලකිල්ලට ගෙන නිර්දේශ ඇතුළත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව සම්පාදනය කරනු ලැබේ. එම වාර්තාව මඟින් අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම නිර්දේශ කර තිබේ නම් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීම අනුමත කිරීම සඳහා අධ්යක්ෂ වෙත යොමු කෙරේ . පරීක්ෂණ වාර්තාව මඟින් පරිසර දූෂණය සිදුවීම පාලනය කිරීම සඳහා තවදුරටත් අමතර යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවලදී පරිසර දූෂණය පාලනය සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තා කැඳවීම සිදු කරනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. දෙවනුව ඉදිරිපත් කෙරෙන යෝජනා පරිසර අධිකාරියෙහි නිලධාරීන් විසින් ඇගයීමට ලක් කරනු ලැබේ. එම යෝජනා ප්‍රමාණවත් වේ නම් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාදීමේ පියවර වෙත යොමුකෙරේ.
පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීම සුදුසු යැයි නිර්දේශ කරන අවස්ථාවක කොන්දේසි සහිතව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ. පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා ගාස්තුවක් අයකරනු ලබන අතර අංක 1685/11 දරණ හා 2010.12.21 දින දරණ ගැසට් නිවේදනයේ තුන්වන උපලේඛණයේ සඳහන් පරිදි බලපත්‍ර ගාස්තු සහ අනෙකුත් වියදම් අය කරනු ලැබේ.
ඉල්ලුම්කරුවකු විසින් ඉදිරිපත් කරනු ලබන නියමිත කටයුත්ත හෝ කර්මාන්තය සම්බන්ධයෙන් සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව නියමිත ස්ථානයෙන් යෝජිත කර්මාන්තය පවත්වාගෙන යාම තුලින් පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බවට පැහැදිලි හේතු සාධක පවතී නම් එවැනි අවස්ථාවල බලපත්‍රය දීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ඉල්ලුම්කරුවකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලුම් පහත අදාල යම් නියමිත කටයුත්ත සම්බන්ධයෙන් බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක එකී තීරණයෙන් අතෘප්තියට පත්වන ඉල්ලුම්කරුවන් හට එකී තීරණයෙන් දින 30 ක් ඇතුලත අභියාචනා කිරීමේ අයිතිය හිමි වේ.
පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත් සෑම බලපත්‍ර ලාභියෙකු විසින්ම බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉක්මවු විට බලපත්‍රය අලුත් කිරීම සඳහා ඉල්ලුම් කල යුතුය. ඒ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ඉල්ලුම්පත්‍රයක් පළාත් පරිසර අධිකාරියෙන් හෝ අදාල පළාත් පාලන ආයතනයෙන් හෝ online ක්‍රමවේදයට හෝ ලබාගෙන ඉදිරිපත් කල යුතුය. එහිදී පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනට මාසයකට පෙර ඉල්ලුම් කල යුතුය. තවද පවත්නා කර්මාන්තයේ යම් වෙනස් කිරීමක්, දීර්ඝ කිරීමක් හෝ ක්‍රියාකාරිත්වයේ යම් වෙනසක් සිදු කරන්නේ නම් එසේ සිදු කිරීමට මාසයකට පෙර පළාත් පරිසර අධිකාරියට දැනුම් දී පුර්ව අනුමැතිය ලබාගත යුතුය. පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේදී පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමේදී අනුගමනය කල කාර්යය පටිපාටියම අනුගමනය කරනු ලැබේ.