වයඹ පළාත් පාරිසරික ප්රඥප්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද 1998.03.27 දින දරණ අංක 1020/21 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව එකී ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කොට ඇති යම් නියමිත ව්‍යාපෘතියක්/කර්මාන්තයක් ආරම්භ කිරිමට යෝජනා කරනු ලබන රජයේ යම් දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ රජයේ ආයතනයක් හෝ පළාත් පාලන ආයතනයක් රාජ්‍ය නොවන සංවිධානයක් හෝ ව්‍යාපාරික ආයතනයක්, සමාගමක් හෝ පුද්ගලයෙකු විසින් එකී ගැසට් නිවේදනයේ සඳහන් කොට ඇති රෙගුලාසි වලට අනුව අනුමැතිය ලබාගත යුතුය.මෙහිදි අනුමැතිය ප්රදානය කරන ව්‍යාපෘති අනුමත කිරිමේ අනුයෝජිත ආයතනය වශයෙන් වයඹ පළාත් පරිසර අධිකාරිය කටයුතු කරනු ලබන අතර, එහි ප්‍රධාන වශයෙන්ම පාරිසරි බලපෑම් තක්සේරු ඇගයිමක් අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරේ. ව්‍යාපෘතියේ/ක්‍රියාකාරිත්වයේ පරිමාණය මත පදනම්ව ව්‍යාපෘතිය අනුමත කිරිමේ අදාල ක්‍රියා පටිපාටිය අනුගමනය කෙරේ. එනම් පාරිසරික බලපෑම් තක්සේරු අධ්‍යනයක්ද (EIA) මුලික පාරිසරික පරීක්ෂණයක්ද (IEE) යන්න තීරණය කිරීමයි.
මෙම අධ්‍යනයේ ප්‍රධාන පරමාර්ථය වනුයේ යෝජිත ව්‍යාපෘතියේ ඍජු හා වක්‍ර, දිගුකාලීන හා කෙටිකාලීන ඍණාත්මක මෙන්ම ධනාත්මක බලපෑම් තක්සේරු කිරීම සහ ව්‍යපෘති භූමිය තුල මෙන්ම ඒ අවට ඇති භෞතික, ජීව විද්‍යාත්මක හා සමාජ ආර්ථික පරිසරය කෙරෙහි යෝජිත ව්‍යාපෘතියේ බලපෑම් හදුනාගෙන ඒ සඳහා අවශ්‍ය නිර්දේශ කිරීම. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් වල ඇති විය හැකි අහිතකර බලපෑම් වලක්වා ගැනීම හෝ අවම කිරීමයි. තවද යෝජිත ව්‍යාපෘතියේ ධනාත්මක බලපෑම් වැඩිදියුණු කිරීම සහ ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල තීරණ ගැනීමේ හා සැලසුම් කිරීමේ ක්‍රියාවලියට සහයවීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම සඳහා අවධානය යොමු කරයි.
ඉහත අංක දරණ ගැසට් නිවේදනයේ සඳහන් නියමිත ව්‍යාපෘතියක්/කර්මාන්තයක් සම්බන්ධයෙන් යම් ව්යාපෘතියෝජකයෙකු විසින් ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වෙත පාරිසරික බලපෑම් හදුනාගැනීමේ ප්‍රශ්නාවලියක් මඟින් අයදුම්පත් ඉදිරිපත් කල යුතුය. .
අයදුම්කරු ඉදිරිපත් කල තොරතුරු මත ඇගයීමට භාජනය කරනු ලබන්නේ පාරිසරික තක්සේරු වාර්තාවක්ද (EIAR) නොඑසේ නම් ප්රාරම්භක පාරිසරික වාර්තාවක්ද (IEER) යන කරුණ මත වැය වන්නා වු ගාස්තුව තීරණය කරනු ලැබේ. Online අයදුම්කරුවන් Online Payment හරහා පරීක්ෂණ ගාස්තු ගෙවිමත්, වයඹ පළාත් පරිසර අධිකාරිය කාර්යාලයට සෘජු අයදුම්කරුවන් ඒම කාර්යාලයට සෘජුවම පරීක්ෂණ ගාස්තු ගෙවිමත් කල හැක.
ව්යාපෘතියෝජකයෙකු විසින් තම ඉල්ලුම්පත්‍රය වයඹ පළාත් පරිසර අධිකාරිය වෙත යොමු කල කල්හි පළාත් පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවක් පළාත් පරිසර අධිකාරිය විසින් පත්කරනු ලබයි. එකී කමිටුවෙන් නිර්ණය විෂයයන් කවරේද යන්න තීරණය කරනු ලබන අතර ඒ තුලින් යෝජිත ව්‍යාපෘතිය මඟින් ඇති විය හැකි බලපෑම් කවරේද යන්න හඳුනා ගැනීමත්, ඒවාට ව්යාපෘතියෝජක විසින් යෙදිය යුතු පිළියම් හෝ අවම කිරීමේ ක්රමෝපායන් කවරේද යන්නත් විශ්ලේෂණය කරනු ලැබේ. මෙකී කමිටුවට ව්‍යාපෘතියට අදාල සියලුම රජයේ ආයතන හා විශේෂඥයන් ඇතුලත් වන අතර ඔවුන් විසින් අදාල ව්‍යාපෘතිය සමිබන්ධයෙන් සිදු කල යුතු වන්නේ පාරිසරික බලපෑම් ඇගයීමක් ද නොඑසේනම් ප්රාරම්භක පාරිසරික පරීක්ෂණයක්ද යන්න තීරණය කරනු ලැබේ. ඒ අනුව නිර්ණය විෂයන් (Terms of References - TOR) ලබාදෙනු ලැබේ.
උක්ත කරුණ සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සකස් කර ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය වෙත ඉදිරිපත් කිරීම ව්‍යාපෘති යෝජකයාගේ වගකීමක් වේ. මෙම වාර්තාව සකස් කිරීමේදී විෂයය ක්ෂේත්‍ර කීපයක් අධ්‍යනය කිරීමට ඇති බැවින් ප්‍රවීන උපදේශක මණ්ඩලයක සහය ලබා ගැනීම සුදුසු වන අතර නිසි ප්‍රමීතියෙන් යුත් වර්තාවක් ඉදිරිපත් කිරීම ව්යාපාතියෝජකගේ වගකීම වේ.
පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් ලද අවස්ථාවකදී අදාල වාර්තාව, ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් නිකුත් කරන ලද විෂයය නිර්ණය සටහන (TOR) ට අනුකූල දැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් විශ්ලේෂණයකට භාජනය කෙරේ. ඉන් අනතුරුව අදාල වාර්තාව මහජන විමර්ශනයන්ට හා ලිඛිත අදහස් ලබා ගැනීම සඳහා කාර්යාලීය දින 30 ක කාලයක් විවෘතව තබනු ලැබේ. මහජනතාවගේ පරීක්ෂාව සඳහා අදාල වාර්තාව පරිශීලනය කල හැකි ස්ථාන පිළිබඳව පුවත්පත් දැන්වීමක් මඟින් දැන්වීමක් පල කරනු ලබන අතර රජයේ වැඩ කරන දින 30 ක කාලයක් තුල මහජනතාවට එකී ව්‍යාපෘතිය සම්බන්ධව අදහස් ඉදිරිපත් කල හැකිය. වාර්තාව සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් වෙතොත් ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති යොජකගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා ඒවා අදාල ව්‍යාපෘති යෝජක වෙත දන්වා යවනු ලැබේ. ව්යාපෘතියෝජකගේ ප්‍රතිචාර ලැබීමෙන් අනතුරුව එකී ප්‍රතිචාර හා ලැබුණු මහජන අදහස් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ඒවා තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත යොමු කෙරේ. එකී කමිටුවේ නිර්දේශ මත පදනම් වු කරුණු මත ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය සුදුසු යැයි තීරණය කරන අවස්ථාවල අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජනතාව විසින් ලිඛිතව ඉදිරිපත් කරණු ලැබු කරුණු තහවුරු කරනු වස් වාචිකව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් එනම්, මහජන ඇහුම්කම් දීමකට අවසථාවක් දෙනු ලැබේ.
තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබයි. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය පළාත් පරිසර අධිකාරිය නොවන විට යම් ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමට අදාල ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් පළාත් පරිසර අධිකාරිය වෙත ඒ බව දැනුම්දිය යුතු වේ. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් ලබාදුන් තීරණයට ව්‍යාපෘති යෝජක එකඟ නොවන අවස්ථාවකදී , වයඹ පළාත් පරිසර විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අභියාචනා කිරීමට ඔහුට/ ඇයට අයිතියක් ඇත. මෙහිදී වයඹ පළාත් පරිසර විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ තීරණය අවසාන තීරණය වේ.
පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික පරීක්ෂණ තුළින් අනුමැතියක් ලබාදෙනුයේ ව්‍යාපෘති යෝජක විසින් සම්පූර්ණ කළ යුතු කොන්දේසි ඉදිරිපත් කරමිනි. පළාත් පරිසර අධිකාරිය හෝ ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් මුලින් අදාල ව්‍යාපෘතිය සඳහා පිහිටුවනු ලබන පසුවිපරම් කමිටුවේද සහභාගිත්වයෙන් දැක්වූ කොන්දේසි ඉටුකරන්නේද, පරිසර දූෂණය අවම කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේද යන්න පසුවිපරමට ලක් කරයි. ව්‍යාපෘති යෝජක විසින් ඉහත කොන්දේසි උල්ලංඝණය කරනු ලබන්නේ නම් ඔහු හට ලබාදී ඇති අනුමැතිය අවලංගු කිරීමේ හැකියාව පළාත් පරිසර අධිකාරයට ඇත.
පරිසර බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය